පාරිසරික ගැටළු

දැනට මෙම කොට්ඨාශය තුළ ඇති වී තිබෙන පාරිසරික ගැටළු පහත දැක්වෙන ආකාරයට ප්‍රමුඛතා ගත කළ හැකිය.

  • ගං ඉවුරු ඇල මාර්ග ඛාදනය
  • කර්මාන්ත ශාලා මගින් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය නොකර පරිසරයට මුදා හැරීම
  • කර්මාන්ත ශාලා මගින් නිකුත් කරන ශබ්ද දූෂණය
  • පාංශු ඛාදනය
  • මැසි මදුරු උවදුර
  • පොලිතින් භාවිතය
  • ජලය දූෂණය වීම

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ දැක ගත හැකි ප්‍රධාන පාරිසරික ගැටළුවක් ලෙස ඇල මාර්ග ගං ඉවුරු ආදි‍යෙන් වැලි ගොඩ දැමීම දැක්විය හැක.මෙම කොට්ඨාශය හරහා ගලා බස්නා කළු ග‍ඟෙන් විශාල වශයෙන් වැලි ගොඩ දැමීම සිදුවේ.ඊට අමතරව නීතිමය වශයෙන් බලපත්‍ර ලබා දී නොමැති ඇල මාර්ග වලිනුත් , ඇල මාර්ග ආශ්‍රිත කුඩා දිය පහරවල් වලිනුත් වැලි ගොඩ දැමීම බහුල වශයෙන් දක්නට ලැබේ. වැලි ඉවත් කිරීමේදී අදාල නීති රීති පිළී නොපැදීම ඉවුරු ඛාදනයට මූලික හේතුව වී තිබේ. ගං ඉවුරු ඩොසර් කිරීමත්, වැලි ඉවත් කිරීමේ යන්ත්‍ර ගඟට බැස්සවීමත් නිසා ගංඟාවල ජලය විශාල වශයෙන් දූෂණයට ලක් වේ. එමෙන්ම වැඩිපුර වැලි ඉවත් කිරීම නිසා ගංඟාවල ගැඹුර වැඩි වී රළ පහර වැඩි වීම, ඉවුරු ඛාදනය වැඩි වශයෙන් සිදු වීමට හේතු වේ. ගංඟා ඉවුරු ආරක්ෂක ශාඛ විනාශ වී යාමත් නැවත එම ශාඛ සිටුවීමේ ක්‍රියාත්මක වැඩ පිළිවෙලක් නොතිබීමත් ගංඉවුරු ඛාදනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත. වැලි ගොඩ දැමීම නිසා භූගත ජල මට්ටම පහළ බැසීම සීඝ්‍රයෙන් සිදුවී ගෙන යන අතර ළීං වල ජල මට්ටම අඩු වී ගෙන යාම නිසා ඉදිරියේදී පානීය ජල ගැටළුවක් ඇති විය හැකිය.

මෙම කොට්ඨාසය තුළ දැක ගත හැකි තවත් පාරිසරික ගැටළුවක් ලෙස කර්මාන්ත ශාලා වලින් නිකුත් කරන අපද්‍රව්‍ය කලින්ම පරිසරයට මුදා හැරීම දැක්විය හැකිය. විශේෂයෙන්ම මෙම ගැටළුව වඩාත්ම උත්සන්න වී ඇත්තේ රබර් කර්මාන්ත ශාලා මූලික කොටගෙනය. රබර් කර්මාන්ත ශාලා මඟින් නිකුත් කරන අපද්‍රව්‍ය (ඉවතලන කිරි සහ ඔට්ටපාලු වතුර) සෘජුවම අවට පරිසරයට එක් කිරීමත් ඒවා අවසානයේ ඇල ,දොළ,ගංඟා මාර්ග වලට එකතු වීමත් හේතුවෙන් විශාල පරිසර දූෂණයක් සිදුවේ.මීට අමතරව මෙම කර්මාන්ත ශාලා අවට පරිසරයෙන් අධික දුර්ගන්ධයක් පැතිරීමත් මැසි මදුරු උවදුරු වැඩි වීමත් නිසා ඒ අවට ජනතාව ඉමහත් අපහසුතාවයන්ට පත්වී සිටිති.තේ කර්මාන්ත ශාලා මඟින්ද මෙම පාරිසරික ගැටලුව සිදු වේ. තේ කර්මාන්ත ශාලා අපද්‍රව්‍ය ප්‍රධාන ඇළ මාර්ගයන්ට හරවා තිබිමත් ප්‍රතිචක්‍රීය නොකර අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමත් ජල මාර්ග වලින් ජලය පරිහරණය කරන ජනතාවට මහත් ගැටලුවකට මුහුණ දීමටත් සිදුව ඇත.

ආපදා තත්ත්වයන්

ගංවතුර

ඉංගිරිය පාදේශීය ලේකම් කොට්ඨාශයේ වගවත්ත, බෝධිනාගල, නම්බපාන, ඌරුගල ,කැකුළලිය යන ප්‍රදේශ සෑම වර්ෂයකම පාහේ ගංවතුර තර්ජනයට මුහුණ පානු ලැබේ.එහෙත් මෑත වර්ෂවලදී ගංවතුර තර්ජනයක් දැකගත නොහැකි විය. එයට හේතු වී ඇත්තේ කළු ග‍ඟෙන් වැලි ගොඩ දැමීම නිසා ගංඟා පිටාර ගැලීම බොහෝ දුරට අඩු වී ගොස් ඇති බවයි. 2008 වර්ෂයේදී කැකුළලියේ යහලවත්ත ප්‍රදේශයේ ගංවතුර ගැලීම නිසා වගා බිම් අක්කර 05 ක් පමණ විනාශ විය. 2008 මාපුගල මැද මූකලාන ප්‍රදේශයේ ගංවතුර ගැලීමෙන් අක්කර 03 ක් පමණ විනාශ විය.

2014 වර්ෂයේ ජුනි මස ඇති වූ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 1000කට පමණ පිසූ ආහාර ලබා දුන් අතර පවුල් 589 කට වියළි සලාක ලබා දෙන ලදී.

සුළි සුළං

2000 වර්ෂයේදී ඉංගිරිය ප්‍රදේශය පුරා හමාගිය සුළඟින් නිවාස හානි හා දේපල හානි සිදු විය. මෙහිදී පවුල් 100 කට පමණ මෙම සුළි සුළං තත්ත්වය බලපාන ලදී. ඉංගිරිය බටහිර, ඇදුරාගල, නිමලගම ආදී ප්‍රදේශ වල මෙම සුළි සුළං තත්ත්වය බලපෑවේය. මේ නිසා වී වගාව අක්කර 25 ක් පමණ විනාශ විය.
මීට අමතරව ප්‍රදේශය පුරා පොළොව වෙත දැඩි ලෙස ඇදී එන අකුණු සැර නිසා නිවාස වල විදුලි උපකරණ, දුරකථන ආදියට දැඩි ලෙස හානි සිදු වේ.

2015 වර්ෂයේ විටින් විට ඇති වූ අධික වර්ෂාව හා සුළි සුළග හේතුවෙන් පවුල් 29ක පමණ නිවාස නිවාසවලට හානී සිදු විය.

අයහපත් කාළගුණික වෙනස්වීම් හමුවේ 2015 වර්ෂය තුළ පස් කණ්ඩි කඩා වැටීම් සිදු වීම් 7ක් පමණ වාර්තා වී ඇත. ඒ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පරියේෂණ ආයතනයේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇත.

නියඟ

නියගයද මේ ප්‍රදේශයේ වගාවන් සඳහා තරමක් දුරට බලපානු ලැබේ. නාගස්මණ්ඩිය,සපුගහගොඩ කන්ද යන ප්‍රදේශ වල 2001 වර්ෂයේ බලපෑ නියගය නිසා තේ අක්කර 05 ක් පමණ විනාශ විය.මීට අමතරව මේ ප්‍රදේශ වල පවත්නා කුඩා ඇල දොල ආදිය නියං කාලවලදී සිඳී යයි.උදා- රදා ඇල,නුගහේන් දොල,බිසෝ දොල ,මදුරු දොල, සෝරයාහේන දොල.

TOP