සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සපයනු ලබන ප්‍රධාන සේවාවන් පහත සදහන් පරිදි දැක්විය හැක. මෙම සියළුම සේවාවන් ප්‍රජා මට්ටමින් සපයනු ලබයි.

එම සේවාවන් :-

  • මාතෘ, ළමා, පවුල් සංවිධාන හා සුවනාරී සායන පැවැත්වීම.
  • පාසල් වෛද්‍ය පරීක්ෂණය.
  • බෝවන රෝග විමර්ශනය හා වැලැක්වීමට පියවර ගැනීම.
  • ආහාර සෞඛ්‍ය සදහා කටයුතු කිරීම.
  • සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම / ප්‍රජාව දැනුවත් කිරීම.
  • ප්‍රජා සුව සේවා වැඩ සටහන් පැවැත්වීම.
  • වැඩිහිටියන් සුරැකීමේ වැඩසටහන් පැවැත්වීම.
  • මානසික සෞඛ්‍ය සුරැකීම සදහා කටයුතු කිරීම.
  • කාර්ය මණ්ඩලය පුහුණු කිරීම.
  • සුනඛයින් එන්නත් කිරීම හා අයාලේ යන සුනඛයින් විනාශ කිරීමේ කටයුතු සංවිධානය කිරිම.
  • අමතරව පැවැත්වෙන සෞඛ්‍ය වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම. උදා :- ඩෙංගු මර්ධන කටයුතු, ගංවතුර සායන, විශේෂ අවස්ථා සායන.
  • පරිසර සෞඛ්‍ය කටයුතු.
  • යොවුන් හවුල ක්‍රියාත්මක කිරීම.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස එම කොට්ඨාසයේ පරිපාලනය මාතෘ හා ළමා සංරක්ෂණය, ක්ෂේත්‍ර නිලධාරීන් අධීක්ෂණය, ප්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශ සමග සම්බන්ධතාවය පවත්වා ගැනීම, පාසල් වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම, සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු, පසු විපරම්කටයුතු, පුහුණු කිරීමේ කටයුතු කිරීම ප්‍රධාන වශයෙන් සිදු කරනු ලැබේ.

ක්ෂේත්‍රයේ සේවාවන් සිදු කරනු ලබන නිලධාරීන් මසකට වරක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පවත්වනු ලබන මාසික රැස්වීමට සහභභාගී වේ. මෙහිදී ප්‍රධාන වශයෙන් දැනුවත් කිරීමේ දේශන, ක්ෂේත්‍ර කටයුතු ඇගයීම, ඔවුන්ගේ සෞඛ්‍ය අධ්‍යාපන සම්බන්ධව කටයුතු වැඩි දියුණු කිරීම ඉදිරි වැඩ සැලසුම් කිරීම හා ක්ෂේත්‍ර ගැටලු සාකච්ඡා කිරීම සිදු කරනු ලැබේ.

මහජන සෞඛ්‍ය හෙදි සොයුරියන් ප්‍රධාන වශයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් ගේ අධීක්ෂණ කටයුතු ළමා, පවුල් සංවිධාන හා සුවනාරී සායන පැවැත්වීම, සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු, ක්ෂේත්‍ර නිලධාරීන්ගේ වැඩ ඇගයීමේ කටයුතු තොරතුරු වාර්තා ගතකර ජාතික මටිටමට ලබා දීම විශේෂිත සායන කටයුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්පුහුණූ කටයුතු සිදු කරනු ලැබේ.

පරිපාලන පවුල් සෞඛ්‍ය නිලධාරිණීන් ප්‍රධාන වශයෙන් පවුල් සෞඛ්‍ය නිලධාරිණීන්ගේ කටයුතු අධීක්ෂණය සිදු කරනු ලැබේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් විසින් ගෘහ පිවිසීම සිදු කරනු ලබන අතර මාතෘ ළමා හා වැඩිහිටි සංරක්ෂණය ඔවුන් විසින් ලබා දේ. මෙහිදී ප්‍රධාන ප්‍රසව හා පසු ප්‍රසව සංරක්ෂණය ලබා දීම , ළදරු ළමා ලියා පදිංචිය, පවුල් සංවිධාන උපකරණ බෙදා දීම, සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම ක්ෂේත්‍රයේදී සිදු කෙරේ. එමෙන්ම කරන ලද සේවාවන් පිළීබදව තොරතුරු වාර්තාගතකර ලබා දීමද සිදු කරයි .

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රධාන වශයෙන් ආහාර සෞඛ්‍ය, පරිසර සෞඛ්‍ය, බෝවන රෝග විමර්ශනය, සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබේ. මෙහිදී වෙළද සැල් පරීක්ෂාව, ආහාර සාම්පල් ගැනීම, අවශ්‍ය නීතිමය කටයුතු සිදු කිරීම, ආහාර සෞඛ්‍ය යටතේ ප්‍රධාන වශයෙන් සිදු කෙරේ.

පරිසරයේ පවිත්‍රතාවය රැක ගැනීම, බෝවන රෝග පැතිරීම වැලැක්වීම සදහා පියවර ගැනීම ද ඔවුන්ගේ රාජකාරී අතුරින් ප්‍රමුඛස්ථානය ගනී. සෞඛ්‍ය අධ්‍යාපන කටයුතු යටතේ වෙළදසැල් හිමියන් සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම හා අනෙකුත් කටයුතු අඩංගු වේ.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පවත්වනු ලබන මාතෘ සායන වල මව් වරුන්ගේ බර කිරීම, මුත්‍රා පරීක්ෂාව, රුධිර වර්ගය වී.ඩී.ආර්.එල්. හා හිමෝග්ලොබින් පරීක්ෂාව, කලලයේ වර්ධනය මැනීම, අවශ්‍ය අවස්ථා වලදී විශේෂඥ ප්‍රතිකාර සදහා යොමු කිරීම, සෞඛ්‍ය අධ්‍යාපනය සිදු කිරීම කරනු ලැබේ. ළමා සායන වලදී මාස 06 ට අඩු ළදරුවන්ගේ බර කිරීම (මාස 06 සිට අවු : 5 දක්වා දරුවන්ගේ බර ක්ෂේත්‍රයේදී කරනු ලැබේ.) ප්‍රතිශක්තීකරණය, ත්‍රිපෝෂ ලබා දීම සිදු කරනු ලැබේ. ළදරුවන් පරීක්ෂා කිරීම පවුල් සංවිධාන සායන වලින් ඒ සදහා අවශ්‍ය උපදෙස් හා අවශ්‍ය සේවය ලබා ගත හැක.

සුවනාරී සායන වලින් වයස අවු. 35 – 65 අතර කාන්තාවන් පරීක්ෂාවට භාජනය කරනු ලබන අතර ඔවුන් හට දියවැඩියාව, අධික රුධිර පීඩනය, පියයුරු ගැට වැනි අවස්ථා ඇත්දැයි පරීක්ෂා කිරීම හා ගැබි ගෙල පිළිකා හදුනා ගැනීම පිණිස පැප් පරීක්ෂාව සිදු කරනු ලබයි.

මෙම කොට්ඨාසය තුළ හදුනාගත් ප්‍රධාන ගැටළු සෞඛ්‍ය ලෙස දැක්විය හැක්කේ ළමා මන්ද පෝෂණය, ගැබිණි මව්වරුන්ගේ නීරක්තිය, පාසැල් දරැවන් තුළ මන්ද පෝෂණය, අයඩීන් ඌණතාවය, පාසැල් ළමුන්ගේ දන්ත ව්‍යසනය , කර්මාන්ත ශෘලා වලින් සිදු වන පරිසර දූෂණය, වැසිකිලි අඩුකම, ප්‍රජාව තුළ සෞඛ්‍ය සුරැකීම පිළිබද දැනුම අඩු කම හා අඩු වයස් ගැබ් ගැනිම් ආදිය වේ.
පිටපත : - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉංගිරීය

TOP