ඉතිහාස කතා

හඳපාන්ගොඩ

ඉංගිරිය ප්‍රදේශය ගැන තතු සඳහන් කිරීමේදී ඒ හා බැඳුණු ජනශ්‍රැති, ජනප්‍රවාද හා පුරාවෘත්තයන් අමතක නොකල යුතුය. ගම්පොළ රාජධානි සමයේ ඉන්දියාවේ කේරළ දේශයේ චන්ද්‍රවතී හා සීලවතී නම් කුමාරිකාවන් දෙදෙනෙකු තම පිය රජතුමාගේ අවසරය පරිදි සිල් රැකීමට ලංකාවට පැමිණ බෝපේ නම් ස්ථානයට පැමිණි බවත් එතැනින් හොරණට පැමිණ ඇල්ලකන්ද නම් ස්ථානයේ ගල් ගුහාවක නතර වූ බවත් ජනප්‍රවාදයේ එයි.

කුමාරිකාවන් දෙදෙන ලංකාවට පැමිණෙන විට බෝ පැළ දෙකක් රැගෙන ආ බවත් එක් බෝ පැළයක් හොරණ රජ මහා විහාරය තිබෙන තැන සිට වූ බවත් ඇල්ල කන්දේ සිට වරින් වර එතැනට වැඳුම් පිදුම් සඳහා ගිය බවත් කියවේ. ගල් ගුහාවේ සිටින අතරතුර දඩයමේ ගිය දඩයක්කරුවෙක් මේ කුමරියන් දැක ඒ බව රයිගම රජ කළ රජතුමාට දැන් වූ අතර රජතුමා පැමිණ කුමාරිකාවන් දෙදෙනා මාළිගයට කැඳවා ගෙන ගොස් බිසෝ තනතුරේ තබා ගත් බව කියවේ. ප්‍රධාන බිසව සීලවතී වූ අතර චන්ද්‍රවතී කුමරිය සිල් රැකීම පිණිස හඳපාන්ගොඩ ප්‍රදේශයට ගිය බවත් ඒ යන ගමනේදී ලංකාවට පැමිණෙන විට රැගෙන ආ බෝ පැළ දෙකෙන් ඉතිරි බෝ පැළය එක් ස්ථානයක සිට වූ බවත් එම ස්ථානය අද ගුරුගොඩ නමින් හැඳින්වෙන බවත් ජනප්‍රවාදයේ එයි. චන්ද්‍රවතී කුමරිය පැමිණ වාසය කළ ගල් ගුහා ඇති ප්‍රදේශය අදත් මාළිගාකන්ද නමින් හඳුන්වනු ලැබේ.

හඳපාන්ගොඩ පිළිබඳ සඳහන් කිරීමේදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ ග්‍රාම නාමයන් පිළිබඳවයි. එනම් විවිධ ග්‍රාමයන් ඇතිවීමට ඒ හා බැඳුණ සුන්දර පුරාවෘත්තයන් පදනම් වී තිබීම සුවිශේෂත්වයකි. මේ අනුව "හඳපාන්ගොඩ" නම් ග්‍රාම නාමය නිර්මාණය වී ඇත්තේ රයිගම්පුර රයිගම් බණ්ඩාර යුව රජගේ මෙහෙසියක වූ සඳවතී කුමරිය වාසය කළ හෙයින්ද, ඈත අතීතයේ සඳරැසින් දිළිසෙන ගල් විශේෂයක් පිළිබඳ ප්‍රසිද්ධියක් ඇතිව තිබූ නිසාද "සඳපහන්ගොඩ" පසුව හඳපාන්ගොඩ වී ඇති බව ජනප්‍රවාදයේ පවතී. ග්‍රාම නාම නිර්මාණය වී ඇති ආකාරය කොරනේලිස් අප්පුහාමි මහතාගේ "සුමන ශෛල මාර්ගාලංකාරය" නම් කුඩා කවි පොතෙහි පහත පරිදි ග්‍රාම නාමය නිර්මාණයවීම දක්වා ඇත.

විසූ සඳවන් කුමරි දිසි සඳ වතින් වැඩ
නිති සඳ පහන් කරවන සඳ කොඳන් හැඩ
ඇති සඳ නම ලැබූ එහි සඳ පහන් කඩ
මිතු සඳ මෙගම දනුමැන සඳපහන් ගොඩ

සඳවතී පොකුණ

ඉංගිරිය ප්‍රදේශය තුළ පිහිටා තිබෙන ඓතිහාසික වටිනාමක් ඇති ප්‍රධාන ස්ථානයක් ලෙස සඳවතී පොකුණ පවතින ස්ථානය සඳහන් කළ හැකිය. ඉංගිරිය නගරයේ සිට පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් හයක් පමණ ගියවිට කිරිගල ප්‍රදේශයේදී හමුවන කොම්පේ මාර්ගයේ මීටර් 200ක් පමණ ගියවිට 623 හඳපාන්ගොඩ දකුණ ග්‍රාමසේවා වසමේ මාලිගා කන්දේ මෙම සඳවතී පොකුණ පිහිටා ඇත. අදින් වසර 100කට ආසන්න කාලයක සිට වර්තමානයේ පවා දක්නට ලැබෙන මෙම ජල පොකුණ කිසිඳු ඉඩෝරයකට ජලය නොසිඳෙන බව ප්‍රදේශවාසීන් පවසයි. මෙම ජල පොකුණ හා සම්බන්ධ ජනප්‍රවාද රාශියක් ඇත. මහජනයාගේ විශ්වාසයක් ලෙස මෙම පොකුණ තුල ආඳෙකු ජීවත්වන බවත්, එහි සෙම්බුවක් තිබෙන බවත් සඳහන් වේ.

ඓතිහාසික වටිනාකමක් පවතින මෙම සඳවතී පොකුණ ආරක්ෂා කිරිමට හෝ සංරක්ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ වගකිව යුතු කිසිඳු ආයතනයක් පියවරගෙන නොමැත. දැනට මෙම සඳවතී පොකුණ හොරණ ප්‍රාදේශීය සභාවට අයත් වන අතර ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව සපුරාලීමට මෙම සඳවතී පොකුණෙන් ජලය ලබාදී ඇත.

ඇදුරාගල

පානදුර රත්නපුර මාර්ගයේ රත්නපුර දෙසට ගමන් කරන කෙනෙකුට පළමුව හමුවන විශාලතම කන්ද ඇදුරාගල කන්දයි. එම නිසා "ඇදුරාගල" යන නම නිර්මාණය වීම සිදුවූයේ කෙසේද යන්න සොයා බැලීමේදී "කළු" නැතහොත් අඳුරුගල යන අර්ථයෙනි. අඳුරු+ගල+ඇදුරු+ගල වන්නට ඇත. මෙම ග්‍රාම නාමය නිර්මාණය වීම පිළිබඳව පවතින තවත් මතයක් වනුයේ මීට වසර ගණනාවකට පෙර ඇදුරාගල නම් ඍෂිවරයෙක් ලෙන තුළ වාසය කළ බව සඳහන් වේ. ඔහු භාවනායෝගීව වෙදකම් සිදුකර ඇත. ගල්ලෙන මත්තෙහි ඔසු උයනක් පැවති බවද සඳහන් වේ. බොහෝදෙනා එම ඔසු ලබාගෙන සුවපත් වූ බව සඳහන් ඔහු සතු වස්තුව මෙහි නිධන් කර ඇති බවද විශ්වාස කෙරේ. වර්තමානයේද බෙහෙත් වර්ග මෙහි පවතින බව පැවසේ. ඇදුරගල යන මෙම ප්‍රදේශයේ නාමයද මෙම පුද්ගලයා නිසා ඇති වූ බව පැරැන්නන්ගේ මතයයි. ගල්ලෙන් හතක් ඇති නිසා ඒවා කාමර ලෙස භාවිතා කරමින් රෝගීන්ට ඇප උපස්ථාන කිරීමක් සිදුකිරීමටද ඉඩක් ඇත.
මෙහි ඇති ලෙන් කිහිපයන් පිළිබඳ විස්තර දළ වශයෙන් මෙසේ සඳහන් කළ හැකිය.

ලෙන දිග (අඩි) පළල (අඩි) උස (අඩි)
1 25 20 4
2 45 12 6
3 15 9 4
4 114 33 18
5 50 13 5
6 40 7 8
7 28 9 4.5

ලෙන් වල සුවිශේෂත්වය
• 02 වන ලෙනෙහි ගල් දොරවල් දෙකකි. ඉහළින් කැඩී පහළට ආ ගල් පතුරු දෙකක් මගින් නිර්මාණය වී ඇත. මෙම ගල් දොරේ දිග අඩි 6කි. පළල අඩි 6කි. උස අඩි 5කි. ඝනකම අඟල් 7කි.
• 04 වන ලෙන මෙහි විශාලම ලෙනයි. ඉදිරිපසින් දිය ඇල්ලක් නිරන්තරයෙන් ගලා බසියි. තරමක් අපැහැදිලි කඨාරමක් ඇත. ඉදිරිපස කුඩා පොකුණක් ඇති අතර එය ජලයෙන් පිරී ඇත.
• 05 වන ලෙන ඉතා සුවිශේෂී වේ. ලෙනෙහි මුහුණත ජනප්‍රවාද අනුව නිධන් සංකේත ලෙස හඳුන්වන ඇතෙකුගේ, ආඳාගේ, හාවකුගේ, ඉබ්බෙකුගේ, මොණරෙකුගේ රූප සහ හඳුනාගත නොහැකි රූප දෙකක් ඇත. නිධන් හොරුන් ගල් බෝර ගසා විනාශ කිරීමට උත්සාහ ගෙන ඇත.

පෝරුවදණ්ඩ

ගම් වල නම් නිර්මාණය වීම පිළිබඳව සලකා බැලීමේදී පෝරුවදණ්ඩ යන ගම නිර්මාණය වීම පිළිබඳව විවිධ මත පවතී. ඒ මතයන් අතර වර්ෂ 1991 වන විට පෝරුවදණ්ඩ යන නම තදින් ව්‍යවහාරයේ නොතිබුණු බව කොරණේලිස් අප්පුහාමි මහතාගේ පැරණි කවි පොතෙනුත් වෙනත් පැරණි ලිපි ලේඛණ වලිනුත් පෙනේ. මෙම නම වර්ෂ 1900න් පසුව ලියවුන ලිපිලේඛන වල "කළුපහණ" නොහොත් පෝරුවදණ්ඩ යනුවෙන් ලියවි තිබීමෙන් මෙය පෙනි යයි. ජනප්‍රවාද වලට අනුව පෝරුවදණ්ඩ යන නම සෑදී ඇත්තේ පාරු වලින් තැනූ නැතහොත් පාරු මත සවිකළ පාලමක් බඳු ඒදණ්ඩක් යොදා තිබීමෙනි. කළු ගඟ බොහෝ නුදුරින් ගලා බසිනා නිසා මාවක් ඔයෙහි ජල මට්ටමද නිතර ඉහළ පහළ යාම දක්නට ලැබේ. ඊට සරිලන ලෙස පාරු උපයෝගී කොට ගෙන ඒදණ්ඩ සකසා තිබෙන්නට ඇත. එම නිසා "පාරුඒදණ්ඩ > පෝරුඒදණ්ඩ > පෝරුවදණ්ඩ" වි ඇත.

සඳවතී බිසව ගමන් කිරීමේදී මහා වෙල්යායක් හමුවූ අතර එහි මිනිසුන් පෝරුව නම් උපකරණයෙන් කුඹුරෙහි ලියැදි සකසමින් සිට ඇත. එම පෝරු එකිනෙක තබා බිසවට ඒ මතින් ගමන් කිරීම සඳහා පාර සකසා දුන් හෙයින් එම ප්‍රදේශය පෝරුවදණ්ඩ වූ බව ජනප්‍රවාදයේ කියැවේ.
එසේම වර්ෂ 1891දි ජෝන් ඩේව් ගමන් කළ මාර්ගයේම ඉන් වසර 74කට පසුව සිරිපා කරුණා කළ දොන් කොරනේලිස් අප්පුහාමි නම් මහතෙක් විසින් රචිත "සුමන ශෛල මාර්ගාලංකාර" නම් කුඩා කවි පොතක් වේ. එහි පානදුරේ සිට සිරිපා මළුව දක්වාම ඇති ගම් නියම් ගම් නගර හා විශේෂ ස්ථාන ගැන සැලකිය යුතු වාර්තා තබා ඇත. එහි සඳහන් ස්ථාන අතර ගුරුගොඩ, පැටිපැල්පොල, කළුපහණ, ඇදුරාගල, ඉංගිරිය යන ස්ථාන සඳහන්ව තිබිමද විශේෂත්වයකි. මේ කාලය වන විට සැලකිය යුතු ජනගහනයක් විසූ බව මෙම කවි පොතෙන් අනාවරණය වේ. එම කවි පොතෙන් උපුටා ගන්නා ලද කවි කිහිපයක් පහත දැක්වේ.

තැන් තැන් වල පැතිරුණු විහඟුන් හඬ
මන් මෙන් අසමින් පතමින් වැඩ
සුන් සුන් ලෙස පය තබමින් උඩ
සුන් ගන් පලි නෙතරව යමු ගුරුගොඩ

බොටුව බණ ගොස් මත් පැන් බීලා
බීමුව දනන් දැනගත් උදුරා ලා
නෙමුව සොරුන්ගෙන් ගැලවී මෙකලා
යමුව පැටිපැල්පොල පසු කරලා

මෙහි කියවෙන පරිදි එකල මාවක් ඔයෙන් එගොඩ වීමේදී "සුන්ගම්" හෙවත් බදු මුදල් අයකරන තොටුපළක් ක්‍රියාත්මක වී ඇත. මෙම ස්ථානය මාවක් ඔයෙහි පෝරුවදණ්ඩ පාලම් දෙක අසළ විය යුතුය.

කළුපහණ

ඉංගිරිය ප්‍රදේශයේ ගම් වල නම් නිර්මාණය වීම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී වර්තමාන පෝරුවදණ්ඩ හන්දියේ සිට ඉදිරියට 17 කණුව දිශාවට වූ භූමිය "කළුපහණ" ලෙස සලකනු ලැබේ. මෙම නම ඇතිවීමට බලපෑ හේතු සාධක විමසීමේදී කළු + පහණ යන්නෙහි අර්ථය වනුයේ කළුපාට ගල යන අර්ථයයි. කළු පාට ගල ලෙස අදහස් කරනු ලබන්නේ මෙම ප්‍රදේශයට මැනවින් දර්ශනය වන දැවැන්තයෙකු සේ නැගී සිටින ඇදුරාගල කන්ද විය හැකිය.
අතීතයේ කළුපහණ යන නම වර්තමාන පෝරුවදණ්ඩ, බොරළුගොඩ, මානාන, කළුපහණ යන විශාල ප්‍රදේශයක් හැඳින්වීමට යොදාගත් බව පැරණි ඔප්පු හා ලිපි ලේඛණ වලින් පැහැදිලි වේ. කෙසේ වුවද වර්තමානය වන විට විවිධ බෙදීම් හේතු කොටගෙන කළුපහණ යන නම කුඩා ගමකට සීමා වී ඇත. කළුපහණ ප්‍රදේශය විස්තර කිරීම සඳහා දොන් කොරනේලිස් අප්පුහාමි මහතා විසින් රචිත "සුමන ශෛල මාර්ගාලංකාර" නම් පොතෙහි එන පහත පද්‍යයන් ගෙන හැර දැක්විය හැකිය.

හීන් තල් ඈ තෙක් තුරුලිය බබලන
කන්දෑදුරාගල පෙනේ බැලූ තැන
වම් අත නොහෑරී පෙර දිග බල මින
යම් පොල්වතු පසුකර කළුපහණින

වගවත්ත

වගවත්ත ගමට ඒ නම නිර්මාණය වී ඇත්තේ මෙරට බලය තහවුරු කර ගත් පෘතුගීසීන් ගේ අදායම් වාර්තා වලට අනුව ඔවුන් වගවත්ත හඳුන්වා ඇත්තේ "වගරට" (VAGARATA) යනුවෙනි. පැරණි ග්‍රාම නාම බොහෝමයක් ඔවුන් වැරදි ලෙස ලේඛණගත කොට ඇත. එනම් ඔවුන්ට ඇහෙන පරිදි හා උච්චාරණ පහසුව සඳහා එසේ වාර්තා කරන්නට ඇත. නමුත් භාවිත නියම නම වන්නට ඇත්තේ "වගරට්ට" යන්න විය හැකිය. කල්යත්ම වගරට්ට > වගවත්ත වූවා විය හැකිය. පුරාණයෙහි "රට්ට" යන්නෙන් පාලන ඒකකය හෝ "ජනපදය" යන අදහසයි. විශේෂයෙන්ම පැරණි කාලයෙහි ජනතාව කළුතර සිට කළුගඟ ඔස්සේ පහසුවෙන් වගවත්ත තොටුපල තෙක් ගංගාවෙන් යාත්‍රා කොට එතැන් සිට රට අභ්‍යන්තරයට ගොඩබිම් මාර්ගයෙන් ගමන් කොට ඇත.

ඌරුගල

ඉංගිරිය ප්‍රදේශයට අයත් ඌරුගල ග්‍රාමයේ නම බිහිවීම සිංහල රාජ්‍යත්වයේ රාජසිංහ යුගය දක්වා ඈතට දිව යන කතා පුවතක් ජනවහරේ පවතී. එකල රජවාසල ඇත්තන් සබරගමුව, ශ්‍රී පාදස්ථානය වැනි ස්ථාන වලට යෑමේදී ප්‍රධාන ගමන් මාර්ගය වූයේ කළුගං නදියයි. ගංගා මාර්ගය ආශ්‍රිතව වර්තමාන ඌරුගල ප්‍රදේශයේ ගිමන් හලක් පැවති බව කියවේ. එම ගිමන්හලට ප්‍රභූන් පැමිණ ඇත්තේ ගං ඉවුරේ පැවති විශාල ගලක ඔරු පාරු නවතා ගැටගැසීමෙනි. එම ඔරු පාරු බැඳ ඇති ස්ථානය මෑතක් වනතුරු පැවතුණු බව මේ පිළිබඳ තොරතුරු දන්නා අය පවසයි. එබැවින් මෙම ස්ථානය "ඉවුරේ + ගල" නම් විය. පසුව ව්‍යවහාරයේදී ඉවුරේගල, ඉවුරුගල වී පසුව ඌරුගල යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව කියවේ.

ක්‍රි.ව. 184 වර්ෂයේ ඇහැලේපොළ නිලමේතුමා සබරගමුව ප්‍රදේශයේ මහඅධිකාරම් ධූරයට පත්කර තිබේ. මෙම අවධියේ උඩරට ප්‍රදේශයේ කුරුඳු, ගම්මිරිස් ආදිය බඩු රැස්කර පිටරට යවන ලද්දේ මරකල් වෙළෙන්දෝය. මෙම වෙළෙන්දන්ගේ භාණ්ඩ ඇතැම් දාමරිකයන් මංකොල්ල කෑම සිදුකළ අතර එය නතර කිරීමට ඇහැලේපොළ නිළමේතුමන්ට නොහැකිවීම පිළිබඳව අධිකාරම්තුමා රජු ඉදිරියට කැඳවන ලදී. එයට අවනත නොවූ නිලමේතුමා රටේ කැරළි කෝලහල කර උඩරට රාජ්‍ය ඉංග්‍රීසි ආණ්ඩුකාර පෙඩ්රික් නෝර්ත්ට අත්කරදීමට එතුමා හමුවීමට නිතර ගොස් ඇත. එකල සබරගමුවේ කළුගං නදිය දිගේ පාරුවෙන් ගොස් බොල්ගොඩ ඇළ හරහා කොළඹට පැමිණිය හැකි වාරිමාර්ගයක් එකල තිබී ඇත. මෙම මාර්ගය දිගේ නිතර නිතර ඇහැළේපොල නිලමේතුමා ඉංග්‍රීසි අණ්ඩුකාරතුමා හමුවීමට ගියබව සඳහන් වේ. මෙහිදී දැනට කළු ගඟේ "හොලොම්බුව" නමින් ප්‍රසිද්ධ ගල්තලාවේ නිර්වස්ත්‍රව දියනාමින් සිටින කාන්තාවන් පිරිසක් දැකගන්නට ලැබුණි. කිසිම විළිබියක් නැතිව සිනාසෙමින් සිටි මෙම පිරිස ගැන නිළමේතුමන්ට මහත් ලැජ්ජාවක් හා කෝපයක් හට ගත්තේය. එම නිසා එම ප්‍රදේශයේ නිළමේතුමන්ට හිතවත් පිරිසක් පදිංචි කරන ලදී. මෙම ප්‍රදේශය වාසය කළ වැසියන් පොරෝකාරයෝ යන නාමයෙන් හඳුන්වන ලදී.

ඇහැලේපොළ නිළමේතුමා තමාගේ රාජකාරී ප්‍රදේශය වන සබරගමුව ප්‍රදේශයේ නිරිඇල්ල ග්‍රාමයේ වෙද පරපුරකින් පැවත එන තරුණ යුවලක් හා ඒ යුවලගේ ඥාතීන් කිහිපදෙනෙක් කැඳවාගෙන ඇවිත් හොලොම්බුව නම් ප්‍රසිද්ධ ප්‍රදේශයේ නිවාස සාදා දී පදිංචි කරවා තිබෙන බවට මතයක් පවතී. මෙම අලුත් කණ්ඩායමේ නායකයා මරක්කු නමැත්තෙකි. නිරිඇල්ල ප්‍රදේශයෙන් පැමිණි අයට නිරිඇල්ලේ මරක්කු යන නම සඳහන් කරන ලදී.
කටුකිතුල් කන්ද, ඉංගිරිය ඇළ යන ආදී මායිම් අතර ප්‍රදේශය සන්නස් පත්‍රයක් මගින් නිරිඇල්ලේ මුරුක්කන් යන අයට ඇහැළේපොල නිළමේතුමා විසින් පවරාදී තිබේ. එසේම මරැත්තු නැමති අයට ප්‍රදේශයේ විදාන තනතුරක්ද පවරාදී ඇත. මරැත්තු විදානගෙන් පසු ඔහුගේ පුත්‍ර නිරිඇල්ලගේ සීමන් නමැති අයද විදානේවරුන් වශයෙන් සේවය කර ඇත. පසුකාලයේ මුලින් පැමිණි අයගේ නෑදෑයින් පැමිණ පදිංචි වන්නට පටන්ගත් බව පෙනේ. ගිලීමල ප්‍රදේශයෙන් පැමිණි අය ගිලීමලගේ නාමයෙන්ද, ගොඩිගමුව ප්‍රදේශයෙන් පැමිණි අය ගොඩිගමුව නාමයෙන්ද, බෝතලේ ප්‍රදේශයෙන් පැමිණි අය බෝතලාගේ යනුවෙන්ද වාසගම් පිළියෙල වී තිබෙන බව මුඛ පරම්පරා විශ්වාසයයි. මේ සියළු දෙනාම සබරගමුව ප්‍රදේශයෙන් ඌරුගල ප්‍රදේශයට පැමිණි තැනැත්තෝය.

වර්ෂ 1890 කාලවකවානු තුළ (A8) රත්නපුර පාර එදා ගල් ඇතිරූ පටු පාරකි. (වර්තමාන නම්බපාන පාලම ඇලේ ඉහළ ඉවුරේ පිහිටි පැරණි ලී පාලමේ නටඹුන් හා පැති බැම්ම එයට සාධකයකි.) එකල මිනිරන් පැටවූ කරත්ත සහ පොල් අතු පැටවූ කරත්ත බොහෝ ගමන් කර ඇත. කරත්ත නවත්වන ලද ස්ථාන අදත් ගාල බැඳි ස්ථාන වශයෙන් ව්‍යවහාර වේ. කරත්ත දක්කන අවස්ථාවේ ගැල්කරුවන්ගේ මුවින් ගිලිහුණු කරත්ත ජන සිවුපද අතර පිංගොඩැල්ලේ පන්සල (ඌරුගල තපෝධනාරාම පන්සල) පිළිබඳ කියවෙන සුමිහිරි ජනකවිය පිංගොඩැල්ලේ පන්සලේ නමට මියුරු තෙපුලකි.

මං දැන් කියමි ඇසදුටු දේ සියල්ලේ
කන්දෙන් උඩට නැග්ගම සිත නිදැල්ලේ
දන් පින් කරන්නට අත් බැඳ වැඳිල්ලේ
යන්තම් පෙනෙයි පන්සල පිංගොඩැල්ලේ

එක් එක් ප්‍රදේශයන්හී ග්‍රාම නාමයන් නිර්මාණය වීම පිළිබඳව කරුණු සෙවීමේදී ඒ සඳහා විවිධ වූ සාධක බලපා ඇති බව පෙනේ. කොට්ටියාවත්ත ග්‍රාමනාමය නිර්මාණයවීම පිළිබඳව පුරාවෘත්තය වනුයේ අතීතයේ කොට්ටියාවත්ත ආශ්‍රිත වනයෙහි විශාල කොටියෙක් හෝ කොටින් කිහිපදෙනෙක් දිවිගෙවා ඇති බැවින් කොටියා + ආ + වත්ත > කොට්ටියාවත්ත වූ බව ජනප්‍රවාදයෙන් එයි. එමෙන්ම දිවුල්පත ග්‍රාම නාමය නිර්මාණය වීම පිළිබඳව දිය + උල්පත > දිවුල්පත වූ බව ජනප්‍රවාදයෙන් පැවතෙන බව මතයකි.

හඳපාන්ගොඩ ප්‍රදේශයේ ග්‍රාම නාමයන් නිර්මාණයවීම පිළිබඳව විවිධ පුරාවෘත්තයන් ඇති අතර ඒ යටතේ කැකුණදොළ ග්‍රාම නාමය නිර්මාණය වීම පිළිබඳව සඳවතී බිසව කැකුණ ගසක් යට ඉඳගත් නිසා කැකුණදොළ නම් වූ බවත්, ඒ ආසන්නයේම ඇති මහපුටුගල නම් ග්‍රාමයේ සඳවතී බිසවට ගලක් මත පිරුවටයක් යොදා වාඩිවීමට සැලසූ නිසා මහපුටුගල වූ බවත්, සඳවතිය ගමන්කරන විට රත්මල් විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශයේ පැතිර තිබුණු නිසා රත්මල්ගොඩ නම් වු බවත් ජනප්‍රවාදයන් හී සඳහන් වේ.

වර්තමානයේ පවතින ග්‍රාම නම් පිළිබඳ කතා කිරීමේදී නම් ලැබී ඇත්තේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමයේ වතුවැවිලි ආර්ථිකයත් සමග බිහිවූ වතුවලට තැබූ නම් ආශ්‍රිතවය. එසේම මෑතකාලීනව ජනපද බිහිවීම නිසාද ගම්වලට නම් බිහිවී ඇති බව පෙනේ. එසේම විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසුව බිහිවී ඇති ඉඩම් වෙන්දේසි බිම් තුළද අලුත් ග්‍රාම නාම බිහිවී තිබේ. අලුතින් බිහිවූ ග්‍රාම නාම ලෙස පි + බ් + ලෑන්ඩ් > පීබ්ලන්ඩ්ගම ලෙසත්, එල් + සී + ලෑන්ඩ් > එල්ස්මෝර් ලෙසත් නව ග්‍රාම නාම බිහිවී ඇත.

TOP