ඉතිහාසය

සුන්දර දියදහරා, කඳුහෙල්, තැනිතලා හා මිටියාවත් යන සියලු භූවිෂමතාවන්ගෙන් සැදුම්ලත් ඉතා සුන්දර වූත්, රමණීය වූත්, භූමි ප්‍රදේශයක් ලෙස ඉංගිරිය ප්‍රදේශය හැඳින්විය හැකිය. සිව් මහා ගංගාවන්ගෙන් එකක් වන කළු නදිය සබරගමු දිසාවනියේ සිට කළුතර තෙක් ගලා බසින්නේ මේ සුන්දර නගරයද පසුකරමිනි. එසේම සබරගමු කඳුවැටි වල ඉම, ඉංගිරිය ප්‍රදේශයෙන් අවසන් වන බැවින් 'ඉමගිර' ඉංගිරිය වශයෙන් බිඳීවිත් ඉංගිරිය යන නම ලැබුණු බවද ජනප්‍රවාදයේ සඳහන් වේ. ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන ඉංගිරිය නගරය සුදු අධිරාජ්‍යවාදීන්ගේ වතු වගා ආරම්භයේ බිහිවූ නගරයක් ලෙස සඳහන් කළ හැකි අතර ඉංගිරියට තදාසන්නව පිහිටි ඌරුගල හා නම්බපාන ග්‍රාමයන් කළු නදී මිටියාවත ආසන්නයේ පිහිටි සිංහල රජ සමයට නෑකම් කියන ගම් දෙකක් බවද සඳහන් කළ හැකිය.

ඓතිහාසික වශයෙන් වැදගත් වන ඉතාමත් සුන්දර පරිසරයකට නෑකම් කියන මේ ප්‍රදේශයේ පිහිටි විහාරස්ථාන, ආරණ්‍ය සේනාසනද රාශියක් තිබේ. ඒ අතර වතු කේන්ද්‍ර‍කොට ගත් හින්දු ආගමික ද්‍රවිඩ ජනතාවක්ද ඉතා සුළු වශයෙන් ජිවත් වන අතර හින්දු ආගම ඇදහීමට හින්දු කෝවිල් කිහිපයක්ද, ක්‍රිස්තියානි ආගමික සිද්ධස්ථානයක්ද පිහිටා ඇත. මේ අනුව මෙම ප්‍රදේශයේ විවිධ ජාතීන්ට අයත් හා විවිධ ආගම් අදහන ජනතාවක් වාසය කරන බවට කරුණු සඳහන් කළ හැකිය. ඔවුන් ප්‍රදේශයේ දියුණුව නිරතුරුවම අපේක්ෂා කරන දෑ හිතකාමී පිරිසකි.

ඉංගිරිය ප්‍රදේශයේ ඉතිහාසය දෙස නෙත් යොමුකළ විට පෙනී යන තවත් කරුණක් නම් මෙම ප්‍රදේශයේ දීර්ඝ කාලයක සිට ජනතාව ජීවත් වූ බවට පැරණි ලේඛණගත සාක්ෂි වලින් හෙලිවන බවයි. එනම් පෘතුගීසීන් විසින් වර්ෂ 1599දී තබන ලද ඔවුන්ගේ ආදායම් වාර්තාවක මුණගම, වගවත්ත, කැකුළදොල ආදී ස්ථාන වලින් ලබාගත් බදු පිළිබඳ සටහන් වීමෙන් එය සටහන් වන බවයි. වර්තමානයේදී පෝරුවදණ්ඩ ගම හරහා දිවෙන රත්නපුර, පානදුර මාර්ග අදින් වසර 186කට පමණ පෙර සිටම භාවිතා වූ මාර්ගයක් බවට සාධක හමුවී තිබේ. එනම් "ජෝන් ඩේව්" නම් ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු වර්ෂ 1817දි පානදුරේ සිට හොරණ, රත්නපුර, පලාබද්දල හරහා සිරිපා කන්ද තරණය කර ඇති බව සටහන් වීමෙන් මෙය සනාථ කර ගත හැකිය. මේ ගමන සම්බන්ධව ඔහු විසින් සඳහන් කළ කරුණු පහත පරිදි වේ.

"රට අභ්‍යන්තරයට යාම සඳහා පානදුරේදී මුහුදුබඩ මහ පාරෙන් හැරුණු අපි අපේ රේස් කරත්ත උදාසීන භාරත වාහනයක් හෝ පල්ලැක්කි වලට මාරු කළෙමු. අපි මෙමඟින් සපරගමුවේ රත්නපුර වෙත උසුලාගෙන යන ලදිමු. මෙහි සිට කොළඹට සැතපුම් 43කි. මෙය පහත් එනමුත් කඳු සහිත වන ගහන ජන ශූන්‍ය මද වශයෙන් ගොවිතැන් කෙරුණු පෙදෙස් මැදින් වැටී තිබුණු සෑහෙන තරම් හොඳ අලුත් පාරකි. එසේම වස්තු කිහිපයක් හා සිත්ගන්නා සුළු දර්ශන යම් යම් තැන්වලදී ප්‍රදර්ශනය කරන මාවතකි. අපි අපේ පල්ලැක්කි වලම පළවැනි රාත්‍රිය ගත කළෙමු. අති සරල ගෘහ නිර්මාණ ශිල්පය අනුව සැදුණු හින්දු ගොඩනැගිල්ලක නෂ්ටාවශේෂ අපට මෙහිදී දක්නට ලැබුණි. මෙහි සම්ප්‍රදාය පිළිබඳ ඉහත සඳහන් කරන ලදී. පසුදින අරුණෝදයේ සූර්ය උදාවට පෙරාතුව අප කන්දක් පසු කරමින් සිටියදී ඝර්ම කලාපීය වනාන්තර පිළිබඳ නයනාභිරමණීය අපේ නෙත් වලට ලක්විය. ඒ වූ කලී නිල්කඳුවැටි වලින් වටවුණු චමත්කාරජනක වනයෙන් ගැවසී ගත් කඳු, දේණු සමබිම් හා පහත්බිම් මත රැඳී සිටින ලොම් වැනි වළාකුළු සහිත දීප්තිමත් ආකාශ තලයකි."

TOP