හැඳින්වීම

දියදහර, කඳුහෙල්, තැනිතලා, මිටියාවත් යන සියලු භූ විෂමතාවයන්ගෙන් සැදුම්ලත් ඉංගිරිය බිම් ප්‍රදේශය ඉතා සුන්දරවූත්, රමණීයවූත් ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. මෙම කලාපයේ ප්‍රධාන මංසන්ධිය ඉංගිරිය වන අතර පෝරුවදණ්ඩ හා හඳපාන්ගොඩ උප මංසන්ධි ලෙස හැඳින්විය හැකියි.

කළුතර දිස්ත්‍රික්කයේ උතුරු කොටසේ පිහිටි ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරින් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා කලටුවාව ජලාශ රක්ෂිතයෙන්ද, නැගෙනහිරින් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හා කළුග‍ඟේ කොටසකින්ද දකුණින් කළුග‍ඟෙන්ද, බටහිරින් මාවක් ඔයෙන් හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මලගල මීරියගල්ල ග්‍රාම නිලධාරී වසම් වලින්ද මායිම් වී ඇත.

සබරගමු කඳුවැටි වල ඉම ඉංගිරිය ප්‍රදේශයෙන් අවසන් වන බැවින් ඉමගිර ඉංගිරිය වශයෙන් බිඳීවිත් ඉංගිරිය යන නම ලැබුණු බව කියවේ. ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන ඉංගිරිය නගරය සුදු අධිරාජ්‍යවාදීන්ගේ වතු වගා ආරම්භයේ බිහිවූ නගරයකි. එහෙත් ඉංගිරියට තදාසන්නව පිහිටි ඌරුගල, නම්බපාන ග්‍රාමයන් කළු ගංගා මිටියාවත පිහිටි සිංහල රජ සමයට නෑකම් කියන ගම් දෙකකි. අතීතයේ සෙසු ප්‍රවාහන කටයුතු ගංගා මාර්ගයෙන් සිදුවී ඇති නිසා රත්නපුර ප්‍රදේශයෙන් කළුතර, පානදුර ප්‍රදේශයන්ට භාණ්ඩ ප්‍රවාහනය කෙරේ. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දකුණු ගිනිකොණ මායිම් ආශ්‍රිතව ගලා යන කළු ගඟ ආශ්‍රයෙන් සිදුවීම නිසාත්, එකී මිටියාවතේ පිහිටි ඉහත ගම්මාන වල ඈත අතීතයේ සිට මිනිස් වාසස්ථාන බිහිවී ඇති බව පෙනේ.

මෙයින් ඌරුගල ග්‍රාමයේ ගිණිකොන මිටියාවතේ පිහිටි දැකුම්කළු ස්ථානයක (වක්කලම) සබරගමු ප්‍රදේශයේ සිට පැමිණි පාරු තොටුපලක් පැවති අතර එය අදට ද කලාතුරකින් එන පාරුකරුවන්ගේ ගිමන්හලකි. එකී වක්කලම ඉවුරේ ඇති ගල නිසා මෙම ඉපැරණි ග්‍රාමයට " ඉවුරේ ගල " පසුව උච්චාරණයේ පහසුවට ඌරුගල වූ බව පෙනේ. එකී ඌරුගල ග්‍රාමයට අයත් භූමි ප්‍රදේශයෙන් කොටසක් ඉංගිරිය වශයෙන් නම් කර ඉංග්‍රීසි පාලන සමයේ ඇති කළ ප්‍රධාන මංමාවත් වන පානදුර - රත්නපුර මාර්ගයට හංවැල්ලේ සිට තැනවූ මාර්ගය එකතු වන හංදිය ඉංගිරිය වශයෙන් ප්‍රසිද්ධ වූ බව පෙනේ. වර්තමානයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයක් වන ඉංගිරිය නගරයේ සිට රත්නපුර, හොරණ, පානදුර, දක්වා ද පාදුක්ක, හෝමාගම, කොළඹ දක්වා ද බුලත්සිංහල මාර්ගය ඔස්සේ දකුණේ නගර කරා යාමට ද ඉතා පහසු හා කඩිනම් මාර්ග පද්ධතියක් නගරය කේන්ද්‍ර කොට පිහිටුවා ඇත.

ප්‍රදේශයේ උතුරු හා බටහිර දෙසින් පිහිටි මාවක් ඔය මිටියාවත විශාල වෙල්යායන් ආශ්‍රිතව පිහිටි අරකාවිල, හදපාන්ගොඩ, පෝරුවදණ්ඩ වැනි ගම්මාන කෝට්ටේ හා සීතාවක රාජධානි වලට ද නෑකම් කියූ ගම්මාන වේ. තවද ඉංගිරිය ඇල මිටියාවත ද මහ ඉංගිරිය මානාන වැනි පැරණි ජනාවාස තිබූ බව ඉතිහාසයෙන් පෙනේ. අනෙක් සියළු ජනාවාස ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ වතු වගා ආශ්‍රිතව බිහි වී ඇති අතර 1815 න් පසු විශාල තේ, පොල්, රබර් වගාවන් සදහා දකුණු ඉන්දියාවෙන් ගෙන් වූ දෙමළ ජාතීන්ගේ ජනාවාස වී ඇත.

1972 ඉඩම් පනත යටතේ මෙකී වතු විදේශ ආධිපත්‍යයෙන් මුදා ගැනීමෙන් අනතුරුව ඉහත විශාල වතු ජනතාව අතර කැබලි කොට බෙදාදීම තුළ ඉංගිරිය නගරය තදාසන්නව විශාල ජනගහනයක් ඒකරාශී වේ. පාරිසරික ගැටළු ද බොහෝ සේ වැඩි වෙමින් පවතී.

මෙම කලාපය තුල උතුරු, ඊසාන හා නැගෙනහිර ප්‍රදේශයන්හි පිහිටි කඳුවැටි වලින් ආරම්භවී දකුණු ගිනිකොණ දෙසට ගලා බැස කළු ගඟට එකතුවන ප්‍රධාන ඇළවල් තුනකි. එයින් විශාලතම හා කොට්ඨාස පුරාම වසාගෙන ගලා යන්නේ මාවක් ඔය වන අතර, මඩකඩ මූකලාන මැදින් ගලන නම්බපාන ඇළ (නාච්චිමලේ දොළ) අතිරමණීය දොළ පහරකි. එහි මැද භාගයේ වම් ඉවුරේ ඇති සේනාසනය දෙස් විදෙස් බැතිමතුන්ගේ හා සංචාරකයින්ගේ සිත් වශීකරන රමණීය භූමි භාගයකි. විවිධ වර්ගයේ වෘක්ෂලතා ප්‍රදේශයට ආවේණික කුරුලු වර්ග මෙම රක්ෂිත භූමි භාගයේ සුන්දර බව තීව්‍ර කරයි. ගල් කුළු අතරින් ගලා බසිනා මෙම දොළ පහර තුල ජීවත්වන මත්ස්‍ය විශේෂ බොහොමයක් වන අතර මෙහි දියනෑමට පැමිණෙන්නන් බොහෝය. මීට අමතරව දොඹගස්කන්ද බටහිර බෑවුමේ පිහිටා ඇති බෝධිනාගල ආරණ්‍ය සේනාසනයද ප්‍රදේශයේ සුන්දර ස්ථානයකි. එහි දකුණු මායිමෙන් ගලා බසිනා කළුගං කොමළිය එහි සුන්දරත්වය වැඩිදියුණු කරවන්නීය.

ප්‍රදේශය තුළ පිහිටි ප්‍රධාන විහාරස්ථාන අතරින් හඳපාන්ගොඩ ගනේ විහාරය, රත්මල්ගොඩ සාංඝිකාරාමය, ඉංගිරිය දීපාලෝක විහාරය හා ඌරුගල තපෝධනාරාමය මූලික තැනක් ගනී. මෙම විහාරස්ථාන 19 වන සියවසේ අග භාගය තරම් ඉතිහාසයකට උරුමකම් කියන අතර ඒ හා අනුබද්ධිතව බෞද්ධ මිශ්‍රපාඨශාලා වශයෙන් ආරම්භ වූ පාසල් අද වඩාත් දියුණු තත්ත්වයක පවතී. ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රධාන පාසල වූයේ බෝඹුවල ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින් උෟරුගල පිංගොඩැල්ලේ අාරම්භ කළ පාසලයි.  ඉන්පසු ඉංගිරිය සුමනජෝතී විද්‍යාලය, ගාමිණී විද්‍යාලය, හඳපාන්ගොඩ විද්‍යාලය, මාපුටුගල විද්‍යාලය බිහිවී අද දක්වාම පවතී. ඉංගිරිය අවට පිහිටි විශාල වතු කේන්ද්‍ර කොටගනිමින් විසිවන සියවසේ මුල් කාර්තුවේ පිහිටවූ ඉංගිරිය රෝහල වර්තමානයේ දිසා රෝහලක් දක්වා දියුණුවට පත්ව අැත.

ඉංගිරිය ප්‍රදේශයේ බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම අතීතයේ පටන්ම දේශීය වෛද්‍ය ක්‍රමයද ප්‍රචලිතව පැවතිණි. ඉතාමත් දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයකු වූ සමාරිස් මහතාත්, ඔහුගෙන් පසු ඔහුගේ පුත් නිරිඇල්ලගේ ජයසිංහ මහතාත්, ඉංගිරියේ ඉතා ප්‍රසිද්ධ ආයුරුවේද වෛද්‍යවරු වූහ. නාඩි අල්ලා රෝග නිර්ණය සඳහා විශේෂ දක්ෂතාවක් දැක්වූ නිරිඇල්ලගේ ජයසිංහ මහතා විද්‍යානිධි සහ ශ්‍රාභිශේක වෛද්‍යශූරී, ශාසනබන්ධු, වෛද්‍ය විද්‍යාපතිආදී ගරු සම්මාන ලාභියෙකි. වර්තමානයේ පවා එම මහතාගේ දරු මුණුපුරන් එම ආයුරුවේද වෛද්‍ය විද්‍යාව ඉදිරියට ගෙනයනු දක්නට ලැබේ.

ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධ ජනතාවක් වෙසෙන අතර වතු ‍කේන්ද්‍රකොට හින්දු ආගමික ද්‍රවිඩ ජනතාවක්ද, ක්‍රිස්තියානි ආගමික ද්‍රවිඩ හා සිංහල ජනතාව ඉතා සුළු පිරිසක්ද ඉංගිරිය ප්‍රදේශය තුළ ජීවත්වෙති. කොළඹ යුගයේ කවීන් අතර ජනාදරයට පත් වූ කවිතිලක ධර්මසිරි හරිස්චන්ද්‍ර කිවිඳුන් ඉංගිරිය ගාල්ලෙගම ප්‍රදේශයෙන්ද, උපනන්ද බටුගෙදර කිවිඳුන් හඳපාන්ගොඩ ප්‍රදේශයෙන්ද බිහිවී මෙම ප්‍රදේශය විචිත්‍රවත් කළහ. පුවත්පත් කලාවේදියෙකු. ග්‍රන්ථ කතුවරයෙකු වන දයාසේන ගුණසිංහ, පුවත්පත් කලාවේදියෙකු හා නාට්‍ය ශිල්පියෙකු වන ආරියසේන හඳුවල, ගුවන් විදුලි හඬ නළුවෙකු හා පුවත්පත් කලාවේදියෙකු වන කරුණාතිලක හඳුවල, සඟරා හා ග්‍රන්ථ කතෘවරයෙකු වන එඩ්මන් ජයවර්ධන මහතා, ආචාර්යවරියක් සහ සම්මානලාභී ගත්කතුවරියක් වන සුසිලා දොඩන්ගොඩ ආදීන් ඉංගිරිය විචිත්‍රවත් කළ පුද්ගලයෝ වෙති. හඳපාන්ගොඩ ඉපිද සාහිත්‍යකරණයට පිවිසි සිංහල විශ්ව කෝෂයේ කතෘවරයෙකු වන සරච්චන්ද්‍ර මැතිඳුන් ඉංගිරිය ප්‍රදේශය බැබළ වූ ලේඛකයෙක් මෙන්ම දේශකයෙක්ද විය. එමෙන්ම පරිවර්තන සාහිත්‍යයට විශාල මෙහෙයක් කළා වූ මුනිදාස සෙනරත් යාපා මැතිඳුන් ඉංගිරිය නාමය බැබළවූ ප්‍රසිද්ධ ගත් කතුවරයෙකි.

තේ, රබර් වගාවන් මූලික කොටගත් ව්‍යාපාර මගින් ජිවනෝපාය සකසා ගන්නා ජනතාවක් මෙන්ම එයට අනුපාතිකව වී වගාව හා ගෙවතු වගාව තම රැකියා මාර්ග කොටගත් පිරිසක් මෙහි වාසය කරන අතර පසුගිය දශක දෙක තුළශීඝ්‍ර ලෙස වූ කාර්මීකරණය තුළ බිහිවූ මහා පරිමාණ ඇඟළුම් කර්මාන්ත ආශ්‍රිතව ජිවනෝපාය සකසා ගන්නා ගැමි හා අර්ධ නාගරික කාන්තා ජනතාවක් ප්‍රදේශය තුළ වැඩි වශයෙන් ජීවත් වෙති. මීට අමතරව ආයෝජන ප්‍රවර්ධක කලාපය ආශ්‍රිතව ඇති කර්මාන්තශාලා ආශ්‍රිතව තම ජීවනෝපාය සරි කරගන්නෝද වෙති. ඉතා සුළු කොටසක් විදේශ රැකියා තුළින්ද, සාමාන්‍ය පිරිසක් රජයේ හා අනුබද්ධිත වෙනත් රැකියා මගින්ද, වඩු පෙඳරේරු කර්මාන්ත තුළින් හා ඒ හා බැඳුණු වැලිගොඩ දැමීම ආදී කර්මාන්ත මගින්ද ජීවනෝපාය සකසා ගනිති.

මහා පරිමාණ කර්මාන්ත හෝ ඒ හා සමාන සශ්‍රීක වගා බිම් නොවූවද ඉතා පිරිසිදු වාතාශ්‍රයෙන් හා ජලයෙන් ස්වයං පෝෂිත වූ ප්‍රදේශයේ ජනතාව අර්ධ ග්‍රාමීයවත්, අර්ධ නාගරීකරණය යටතේ සාමකාමී සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන්නෝ වෙති.

TOP